Top Stories

තෛපොංගල් උත්සවයෙ දී එකලු වූ සංහිඳියාව.

Akila Nadee
තෛපොංගල් උත්සවයෙ දී එකලු වූ සංහිඳියාව.

අස්වනු නෙලීම සංකේතවත් කරමින් දමිළ හින්දු භක්තිකයන් අති උත්කර්ෂවත්ව සමරනු ලබන තෛපොංගල්  උත්සවය පැවැත්වුනේ පසුගිය 15 වැනිදාය. එම තෛපොංගල් දිනය නිමිති කරගෙන මීගමුව ප්‍රදේශයේ  ජීවත්වන සියලු ජාතීන් සහ ආගමිකයින් අතර යහපත් ආගමික සහ ජාතිකමය වශයෙන් සංහිඳියාවක් ගොඩනැංවීම උදෙසා පසුගිය 21 වැනි දින (21/01/2026) පෙරවරුවේදී මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී විශේෂ තෛපොංගල් වැඩසටහනක් පවත්වනු ලැබීය. මීගමුව  ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය සහ  සංස්කෘතික නිලධාරිනි දිලූෂා ප්‍රනාන්දු මහත්මිය ඇතුළු එම කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් එකමුතුවෙන් සහ මීගමුව තරුණ හින්දු සංගමයේ විශේෂිත වු සහයෝගයෙන් මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබිණි  

සාර්ථක අස්වැන්නක් නෙලා ගැනීම සඳහා ඊට මහෝපකාරී වූ ඉරු දෙවි, මහී කාන්තාව (පොළොව), වැසි දෙවි, සහ අස්වනු නෙලා ගැනීමට සහය වු ගවයන් ස‍ඳහා තම ස්තූතියි හා ගෞරවය පුද කිරීමද  තෛපොන්ගල් උත්සවයේ විශේෂත්වයකි. මෙවැනි උත්සවයක  සාම්ප්‍රදායිකව සිදු කරනු ලබන සැරසිලි  වලින් සහ   අංගෝපාංගයන්ගෙන් මීගමුව  ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය මෙම වැඩසටහන සඳහා නිර්මාණය කර තිබිණි.

        මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පවත්වනු ලැබූ මෙම සැමරුම් වැඩසටහන සඳහා මීගමුව විජේපාල  මෙන්ඩිස් බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති, පූජ්‍ය අංගිරස ස්වාමීන් වහන්සේ,  මහාවීදිය , ශාන්ත මරියා දේවස්ථානයේ මීසම් පාලක ගරු ඇන්තනී නිෂාන් පියතුමා, වැල්ලවීදිය ශ්‍රී සිත්ති විනායාගර් කෝවිලේ ගරු ගිරුබාකරන්  කුරුක්කල් තුමා සහ මීගමුව මහා මුස්ලිම් දේවස්ථානයේ ගරු මොහොමඩ් සාදාහ් මවුලවිතුමා,  සිව් ආගමික නායකයන් ලෙස සහභාගි වූහ.

              මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ ආරාධනයෙන්  මෙම සැමරුම් උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයින් ලෙස⁣ සහභාගී වූයේ මීගමුව භාර පාර්ලිමේන්තු මන්ත්‍රී, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න,  ගම්පහ දිස්ත්‍රික් අතිරේක දිසාපති ලේකම් ඒ.ජේ.කිත්සිරි, මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද, මීගමුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඩී.ජී.එස්  තුෂාර සහ මීගමුව සංචාරක  සංගමයේ  සභාපති ඒ වර්ණකුමාර  යන මහත්වරුන් ඇතුළු  පිරිසකි.
                     
                        තෛපොංගල් උත්සවයේ  ප්‍රධාන ආහාරය වන පොංගල් බතක් පිසීමද මෙහිදී  සිදුවිය. එලෙසම මෙවැනි උත්සවයක් පවත්වන භූමියක  තෛපොංගල් කෝලම් රූ රටා  නිර්මාණයන් කිහිපයක්ම මෙහිදී දැක ගත හැකි විය. එය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අංශයන් අතර තරගයක් ලෙස පවත්වා තිබිණි. එමෙන්ම තෛපොංගල් උත්සව දිනයේ සිදු කරනු ලබන හින්දු ආගමික පූජාවක්ද මෙහිදී පැවැත්විණි. එම පූජාවෙන් පසු පැමිණ සිටි පිරිසට සහ   විශේෂයෙන්ම ශ්‍රී ලාංකික සැමටම සෙත් පතමින් විශේෂ ආශිර්වාද පැතීමක්ද මෙම පූජාවට සමගාමීව සිදුවිය. එලෙසම කෝලම් රූ රටා නිර්මාණය කරමින් ජයග්‍රහණය කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අංශ නියෝජනය කළ මහත්ම මහත්මාවීන්ට ත්‍යාග පිරිනැමීමද ආරාධිත අමුත්තන් අතින් සිදුවිය.
          මෙම තෛපොංගල් සැමරුම පවත්වනු ලැබූ  ඊයේ දින සාමාන්‍ය රාජකාරී දිනයක් වන නිසා එම කාර්යාලය පරිශ්‍රයට රාජකාරි කටයුතු කර ගැනීම පැමිණ සිටි ජනතාවගේ එම රාජකාරී කටයුතු ඉටු කිරීමට ප්‍රමුඛස්ථානයක් ලබා දී තිබිණු අතර පැමිණ සිටි සියලුම ජනතාව වෙත  එහිදී පිසින ලද තෛපොංගල් බත් සහ වෙනත් ආහාර පාන  බෙදාදීමේ වැඩසටහනක්ද මෙම උත්සවයට සමගාමීව  සිදුවිය.
           නර්තනාංග වලින් හා ගායනා අංගවලින් මෙම සැමරුම් වැඩසටහන විචිත්‍රවත් විය.
             මේ සඳහා මීගමුව ප්‍රදේශවාසී ජනතාව සහ විශේෂයෙන් මීගමුව ප්‍රදේශයේ ප්‍රකට දමිළ ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක් මෙම සැමරුම් උත්සවය සඳහා සහභාගි වූහ.



Share


Leave a comment

Comments

  • No comments yet. Be the first.