ධුරයෙන් පහ කළ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අපෙක්ෂිත ඇප අයැදුම්පත කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය අද (20) ප්‍රතික්ෂේප කළාය.
එහිදි මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කරමින් පෙන්වා දුන්නේ නීතියට ගරු කරන පුද්ගලයකු ඉදිරිපත් කරන අපෙක්ෂිත ඇපයක් සලකා බැලීමේ හැකියාවක් අධිකරණයට ඇතත් අධිකරණය මගහැර සිටින මෙවැනි සැකකරුවකු ඉල්ලා සිටින අපේක්ෂිත ඇප ඉල්ලිමක් තම අධිකරණයට සලකා බැලිය නොහැකි බවයි.
තමන්ව සැකකරුවකු ලෙස නම් කර තිබෙන බව දැන දැනත් එලෙස අධිකරණය මග හැර සිටිම යුක්ති ගරුක පුද්ගලයකු වශයෙන් සිදු නොකළ යුත්තක් බවද එහිදි මහෙස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නාය.
යමෙකු අත්අඩංගුවට ගැනීමට පෙර අපෙක්ෂිත ඇපයක් මත මුදා හැරිමට අධිකාරි බලයක් මහෙස්ත්‍රාත් අධිකරණය සතුව ඇති නමුත් එම බලය භාවිතා කළ යුත්තේ රටේ අධිකරණයට හා නීතියට ගරු කර පුරවැසියන් වෙනුවෙන් මිසක දින සති ගනන් වහන් වී නීතිය සමච්චලයට ලක් කළ පුද්ගලයකු වෙනුවෙන් නොව බව රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා මහතා කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය හමුවේ පෙර දිනයේදී පෙන්වා දුන්නේ ය.
අරගලය පැවැති අවස්ථාවේ දී ජනාධිපති ලේකම් කාර්යාලයට අදාළ නඩුවක් ගොනු කර ඇති බැවින් එම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව සැකකරුවකු ලෙස නම් කර අත්ඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව පවසමින් හිටපු පොලිස්පතිවරයා අපේක්ෂිත ඇප ඉල්ලුමක් ඉදිරිපත් කළ අතර එහි තීන්දුව නිකුත් කළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය එකී ඉල්ලිම ප්‍රතික්ෂේප කළාය.