පාකිස්ථානය ඇෆ්ගනිස්ථානයේ කොස්ට් පළාත සමඟ යාවන ගුලාම් ඛාන් දේශසීමා හරස් මාර්ගය වසා දමයි.
එමෙන් ම පාකිස්ථාන බලධාරීන් එම දේශ සීමාව හරහා දැඩි වීසා සහ විදේශ ගමන් බලපත්‍ර රෙගුලාසි බලාත්මක කරමින් සිටින බව සහ ඒ ඔස්සේ සංචාරකයින් අතරමං කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දේශසීමා සබඳතා කඩාකප්පල්වීම වෙළඳ කටයුතු සඳහා ද බලපෑම් එල්ල කර ඇතැයි ද එම මාධ්‍ය වාර්තා වැඩිදුර්ටත් සඳහන් කරයි.
ඉකුත් 1 වැනි දා සිට ක්‍රියාත්මක වූ එම දේශසීමා වසා දැමීම, සම්පූර්ණ ගමන් ලියකියවිලි වෙනුවට "ටෝකන්" භාවිතා කරමින් රෝගීන් ඇතුළු ඇතැම් පුද්ගලයින්ට ප්‍රවේශයට ඉඩ සලසන අවිධිමත් භාවිතය අවසන් කිරීමේ ප්‍රයත්නයක් බවයි පාකිස්ථානය පවසයි.
ගුලාම් ඛාන් යනු පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර ඇති නිල දේශසීමා හරස් මාර්ග තුනෙන් එකක් වන අතර, කොස්ට් පළාත පාකිස්ථානයේ උතුරු වසිරිස්ථානයට සම්බන්ධ කරයි.
එය තොර්කාම් (Torkham) සහ චාමන් (Chaman) ට පසු තුන්වන වඩාත්ම තීරණාත්මක මුරපොල ලෙස ද සැලකෙයි.
එම දේශසීමාව දෙරට අතර වෙළඳාම සහ මගී ප්‍රවාහනය යන දෙකටම ප්‍රධාන මාර්ගයක් ලෙස භාවිත කරන අතර 2018 වසරේ දී එය විවෘත කරනු ලැබීය.